Categories
Uncategorized අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

නැවතත් සුළුගුණයට…

අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.

අපි සුළුගුණේ ප්‍රථමික පාසලට මේ අවුරුද්දෙත් ගියා පොඩි දරුවො ටික බලල එන්න. කලින් අවුරුද්දෙ වගේම ඒ වෙනකොට පාසලේ සහ දරුවන්ට තියෙන අඩු පාඩු ටික අපිට පුළුවන් විදියට සම්පූර්ණ කරලා එන්න අපේ යාළුවො ටික තීරණය කරල තිබ්බෙ. වෙනද වගේම සුළුගුණේ ප්‍රථමික පාසලේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය අපිට ලොකු සහයක් දුන්න ඒ දරුවන්ට සහ පාසලට අවශ්‍ය දේවල් අඳුනා ගන්න. ඒ වගේම අපට ලොකු උවමනාවක් තිබ්බ ඒ දරුවන්ට එහෙදි හොඳ ආහාර වේලක් ලබා දෙන්න. අවසානයේ පහත දේවල් ටික අරන් යන්න තීරණය කරා.

  • 1-5 වසර දක්වා සිසු පැවරුම් පොත් 
  • 1-5 වසර දක්වා මුතු අකුරු සියලුම පොත් කාණ්ඩ
  • පාට 24 පැස්ටල් පෙට්ටි
  • ෆයිල් කවර
  • පැන්සල් , මකන සහ කටර්
  • කෑම පෙට්ටි 
  • වතුර බෝතල් 
  • කෑම පෙට්ටි
  • වතුර බෝතල්
  • අත්පිස්නා (Serviettes) 
  • කුඩ
  • පාසැල සඳහා A4 කඩදාසි, ගම්, CR පොත් 
  • මැන්ඩරීන් 
  • චොකලට් (Kandos hand crafted)

මීට අමතරව භාවිතා කරන ලද ඇඳුම් ප්‍රමාණයක්, දරුවන් සඳහා උදෑසන කෙටි ආහාරයක් සහ සියල්ලටම දහවල් ආහාරයට ඕනෙ කළමනාත් අපේ ලැයිස්තුවට එකතු උනා.

මේ සියල්ලම අරගෙන අපි පෙබරවාරි 21 සුළුගුණේ ගමට ගියා. එදා හවස ඉඳල ලෑස්ති උනා පස්සේ දවසෙ දරුවන් සඳහා උදෑසන කෙටි ආහාරය සහ දහවල් ආහාරය දෙන වැඩේට. ඒක කරේ අපේ පිරිසක් ඉස්කෝලෙම නතර වෙලා. පස්සෙ දවසෙත් උදේ ඉඳල ආහාර පිළියෙළ කරන කටයුතු පොඩ්ඩන්ට දෙන්න ගෙනාපු තෑගි පාර්සල් කරන එකත් සිද්ද උනා. 

අපි සැලසුම් කරපු විදියටම මුලින්ම අපේ පොඩි උත්සවයට ඇවිල්ල හිටපු පොඩ්ඩන්ට, දෙමාපියන්ට සහ ගමේ අනෙක් ළමයින්ටත් බිස්කට් සහ පලතුරු බීම වලින් සංග්‍රහ කරා. දරුවන්ට අපේ අතින්ම හදපු චිකන් බර්ගර් (Chicken Burger) එකකිනුත් සංග්‍රහ කරා. ඊට පස්සේ පොඩි රැස්වීමක් තියල දරුවන්ට ගෙනාපු පොත් පත්, උපකරණ, පලතුරු, චොකලට් ඔක්කොම බෙදා දුන්න. ඉස්කෝලෙට ගෙනාපු ලිපි ද්‍රව්‍යය සහ අනෙකුත් උපකරණත් භාර දුන්න. රැස්වීම අතරෙ සුළුගුනේ පාසලේ දරුවො, විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය ගොඩක් මහන්සි වෙලා ලෑස්ති කරල තිබ්බ ප්‍රසංගයකුත් ඉදිරිපත් කරා. ඒ දරුවො කවි, සිංදු, කතන්දර, නාට්‍යය, නැටුම් වගේ අංග ගොඩකින් ඒ ගොල්ලන්ගෙ දක්ෂතා පෙන්නුවා. අපි හැමෝම ඒ සියල්ලම රස වින්ද. ඊට පස්සේ තමයි කතාවෙ රසම හරිය. අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු දහවල් ආහාර වේල ගමේ ළමයි ඔක්කොටමයි ආපු දෙමව්පියන්ටයි බෙදල දුන්න. හැමෝම බොහොම සතුටින් දහවල් ආහාරය ගත්ත. ඊට පස්සේ අයිස් ක්‍රීම් ගොඩකුත් කෑවා ඔක්කොමල එකතු වෙලා. ඒ විදියට දවස ඉවර වෙලා ගියා.

මේ විදියට අති සාර්ථක වැඩ සටහනක් කරන්න අපිට මේ වාරෙත් පුළුවන් වුනා. එහෙම කරන්න පුළුවන් වුනේ දෙස් විදෙස් ඔබ සියලු දෙනා අපිට දක්වපු සහයෝගය නිසායි. ඒ සහයෝගයට ඒ දරුවො, දෙමව්පියෝ, විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් අපි අනේක වාරයක් ඔබ සියලු දෙනාට ස්තුති වන්ත වෙනවා.

මේ අතරෙම අපට විශේෂයෙන් උදව් කරපු පාර්ශව කීපයක් ඉන්නවා. ඒ අයවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ.

මුලින්ම @DigitalTeam ආයතනය සහ ඒ කාර්යය මණ්ඩලය අපට මූල්‍යමය වශයෙන් දක්වපු දායකත්වයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. 

කලින් අවුරුද්දෙත් අපිට දවල් අහාර වේල සකස් කර ගන්න උදවු කරපු අසේල මේ වතාවෙත් ඒ විදියටම අපිට සහය උණා. ආහාර වේල සඳහා ඕන උපකරණ, කළමනා ඔක්කොම ප්‍රවාහනයට තමන්ගෙම වාහනේ භාවිතා කරලා සුළුගුණේට ගේන්න කටයුතු කරල බොහොම රසවත්ව පිරිසිඳුව ආහාර වේලක් සකසල දෙන්න කටයුතු කරා. මුල ඉඳල තමන්ගේම කටයුත්තක් විදියට සලකල කටයුතු කරපු නිසාම තමයි ඒ දහවල් ආහාර වේල රසවත්ව ලස්සනට පිළිගන්වන්න පුළුවන් උනේ. අසේලට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සාර්ථක කර ගන්න දීපු උපකාරයට.

ඒ වගේම දරුවන් අවශ්‍ය වෙලා තිබ්බ පොත් පත් සහ උපකරණ සුදානම් කර ගන්න උපකාර කළ අකුර පොත් සමාගමේ Akura Pilot Publication (People’s Park) කළමණාකාර කාවින්ද මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

අවසානයට මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා විශාල කැපවීමක් කල විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම  නන් අයුරින් දායක වුනු සියලු දෙනාටත්, අපේ එකමුත්තන් සියලු දෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් මේ වගේම කටයුත්තකින් හමු වෙමු.